විශ්ව ළමා දිනයට සමගාමිව රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ විශේෂ පුණ්‍යකර්මයක් පසුගිය ඔක්තෝබර් පළමු වැනිදා හොරණ විද්‍යාරතන පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විය. කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල වැඩ වාසය කරන සාමණේර භික්ෂුන් වහන්සේ සියනමක් විෂයෙහි  පිරිවෙන් අධ්‍යාපනයට අවැසි උපකරණ බෙදාදීමේ පුණ්‍ය උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් හොරණ විද්‍යාරතන පිරිවෙනේදී පසුගියදා (01) සිදුකෙරිණි.

පිරිවෙන් අධ්‍යාපනයට අවශ්‍යකරන සියලු අධ්‍යාපන උපකරණ හා ලිපි ද්‍රව්‍ය කට්ටලය බැගින් සියලු සාමණේරයන් වහන්සේ වෙත පිරිනැමීම සිදුකෙරුනේ අමාත්‍යවරයාගේ සහ එම මැතිනියගේ අතිනි. ඊට අමතරව නාහිමිවරුන්, සාමණේර හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි සවස ගිලන්පස පූජාවක්ද සංවිධාන කරනු ලැබීය. සාමණේර වහන්සේ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු උදෙසා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකිරීමද මෙහිදී සිදුවිය. කුඩා දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු ඇතුලත් ග්‍රන්ථයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමීමද හොරණ විද්‍යාරතන පිරිවෙනේදී සිදු කෙරිණ. ප්‍රසන්න දසනායක මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය ලෝක ළමා දිනයේදීම මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීම විශේෂ අවස්ථාවකි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මැතිණිය සහ සමස්ත ශ්‍රී ලංකා වාසීන් වෙත සෙත්පතා ආශිර්වාද සෙත් පිරිත් සාජ්ඣායනාවක්ද සිදු කෙරිණ. එහිදී හොරණ විද්‍යාරතන පිරිවෙණේ පරිවේණාධිපති සහ   අශෝක ඉංග්‍රීසි මාධ්‍ය පාසැලෙහි අධ්‍යක්ෂ, පූජ්‍යපාද ලබුගම නාරද නායක ස්වාමින්වහන්සේ විසින් අනුශාසනාව සිදු කළ අතර හොරණ ධම්මරත්න පිරිවෙණාධිපති, හොරණ රජමහවිහාරයේ භාරකාර, හොරණ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිඅරචි මහතා, රාජිත සේනාරත්න පදනමේ හොරණ සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් ජයතුංග මහතා, හොරණ නගර සභාවේ විපක්ෂනායක හේමසිරි ගමගේ මහතා ඇතුළු ප්‍රදේශවාසී සැදැහවතුන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here