මහනුවර ශික්ෂණ රෝහල මහනුවර ජාතික රෝහල වශයෙන් අබිසෙස් ලැබීමේ ජාතික උත්සවය අද දින (30) දින මහනුවර රෝහල් පරිශ්‍රයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මහනුවර රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලම තෘතීයික සත්කාරක සේවා රෝහලයි. මෙම රෝහලේ ඉතිහාසය 18 වන සියවස දක්වා දිවයයි. 1861 වසරේ දී වසූරිය රෝගය සදහා ප්‍රතිකාර කිරිමට මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ කුඩා ආරෝග්‍ය ශාලාවක් ලෙස ආරම්භ වී පසුව නාගරික රෝහලක්, මහ රෝහලක් සහ ශික්ෂණ රෝහලක් දක්වා සංවර්ධනය වෙමින් අද දින මෙරට දෙවන ජාතික රෝහල ලෙසින් ඉතහාසගත වේ. අක්කර 58 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව, විශේෂඥ වෛද්‍ය සේවාවන් 62 ක ප්‍රමාණයක් සපයනු ලබයි. වාට්ටු සහ විශේෂිත  ඒකක 112 කින් ද, දැඩිසත්කාර ඒකක 11 කින් ද සමන්විතව 2400 කට අධික රෝගීන් ප්‍රමාණයකට දෛනිකව නේවාසික ප්‍රතිකාර සැපයේ. බාහිර රෝගී අංශයේ දී දිනකට රෝගීන් 1100 ක් පමණ ප්‍රතිකාර සේවා ලබාගන්නා අතර සායන 40 ක් මගින් වාර්ෂිකව ලක්ෂ 10 කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීම සුවිශේෂී කරුණකි. නවීන පහසුකම්වලින් සමන්විත රසායනාගර පහසුකම් ඔස්සේ වාර්ෂිකව ලක්ෂ 25 කට අධික රෝග නිරික්ෂණ හා පරීක්ෂණ සේවාවන් ලබාදෙයි. විකිරණ පරීක්ෂණ සේවාවන් රැසක් ද සපයනු ලබන අතර ශල්‍යාගාර 11 කින් යුක්ත වන අතර වාර්ෂිකව සිදු කරන  ශල්‍යකර්ම සංඛ්‍යාව 70,000 කට අධිකයි. කර්ණ සංඛ බද්ධ කිරීම්, විවෘත හෘද ශල්‍යකර්ම, වකුගඩු බද්ධ කිරිම් ද මෙම රෝහලේ සිදු කරන ලබන විශේෂිත සේවා වේ. මෙරට ප්‍රථම හදවත් බද්ධය ද මෙම රෝහලේ දි සිදු කරනු ලැබීය. ශික්ෂණ රෝහලකත් ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයටත්, මහනුවර හෙද විදුහලටත් අනුබද්ධව වෛද්‍ය සිසුන්, හෙද සිසුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල ප්‍රමාණයක් පුහුණුවීම්  සිදු කරන්නේද මහනුවර ජාතික රෝහල තුළ වීම විශේෂත්වයක්. පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව, රුධිර කාන්දුකරණ පුහුණුව, දැඩි සත්කාර ඒකක පුහුණුව ආදි විශේෂිත පුහුණූ වැඩසටහන් සදහා මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරන අතර දේශිය සහ විදේශීය සිසුන් සදහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විශාලම වකුගඩු ඒකකය මෙම රෝහලේ පවතින අතර, නවින රුධිර කාන්දුකරණ ඒකක 03 ක් ඔස්සේ දිනකට රෝගීන් 150 කට ආසන්න ප්‍රමාණයක් සේවා ලබා ගනියි. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම 1250 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිදු කර ඇත. ඖෂධ සැපයීමේ දී ඖෂධාගාර 05 ක් ඔස්සේ දිනකට බාහිර හා නේවාසික රෝගීන් 3000 කට අධික ප්‍රමාණයකට ඖෂධ ලබාදීම සිදු කරනු ලබයි. භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, අක්ෂි චිකිත්සක, විකිරණ චිකිත්සක හා උපදේශණ සේවාවන් වැනි සේවාවන් ද සපයනු ලබයි. රෝහලේ ශීඝ්‍ර සංවර්ධනය තුළ දැනට ඉදිවෙමින් පවතින නව පිළිකා ප්‍රතිකාර ඒකකය, තැලසීමියා හා ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය, හෙද විදුහල් අධ්‍යාපනික ගොඩනැගිල්ල වැනි ව්‍යාපෘතීන් රැසක් සුව සේවාවට එක්වීමට නියමිතව ඇත. පළාත් 09 න් පළාත් 07 ක රෝගීන්ට මෙම රෝහලෙන් සේවා සපයා ගනු ලැබිම ද විශේෂත්වයකි.

මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අද අපි ආවේ ලංකාවේ දෙවන ජාතික රෝහල විවෘත කිරිමට. පළමු ජාතික රෝහල බවට පත්වුණේ කොළඹ ශික්ෂණ රෝහලයි. මෙම ජාතික රෝහල ආරම්භ කරන කොට මම බැලුවේ ලංකාවේ කිසිම ක්‍රමවේදයක් නැහැ ජාතික රෝහලක් විය යුත්තේ කුමක් ද යන්න සම්බන්ධව. සැම ග්‍රාමිය රෝහලක සිට ශික්ෂණ රෝහලක් දක්වා සෑම රෝහලකටම නිශ්චිත මුලික අවශ්‍යතා තිබෙනවා. නමුත් ජාතික රෝහලකට එහෙම එකක් තිබුනේ නැහැ. මම කැමැති වුණේ නැහැ ආවාට ගියාට නිකන් ජාතික රෝහල කියලා බෝඩ් එකක් විවෘත කරන්න. ජාතික රෝහලට අවශ්‍ය මුලික අංගෝපාංගයන් මොනවාද, අපි මූලිකවම අමාත්‍යාංශය සමග එකතුව සැළසුම් අංශය සමග කථා කරලා ඒ වගේම ජාතික රෝහලේ අධ්‍යක්ෂතුමා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක්  එකතු කරලා මට ලබාදුන්නා ජාතික රෝහලකට ලබාදිය යුතු අංග මොනවා ද කියලා. අපි ඒ දෙකම බැලුවා. අමාත්‍යාංශයෙන් දුන්න එකට වඩා හොදයි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුලු ඒ කණ්ඩායම හදලා තිබෙන ඒ ක්‍රමවේදය. ඒ සියලු තොරතුරු සමග ජාතික රෝහලක් විය යුත්තේ කුමක් ද යන්න තීරණය කළා. ඊට පස්සේ බැලුවා ජාතික රෝහලකට අවශ්‍ය දේවල් මහනුවර රෝහලේ අඩංගු වෙනවා ද කියලා. අලුතෙන් ගොඩනැගෙන දේවල් එක්ක ඒ සියල්ල සම්පූර්ණ වෙනවා. රෝහලේ ඇදන්, ශල්‍යාගාර, හදිසි අනතුරු ඒකක කොපමණ ද, විශේෂඥ වෛද්‍ය සේවා මොනවා ද , මානව හා භෞතික සම්පත්, මේ සියලු තොරතුරු එකතු කළා. එම ලියවිල්ල අනුව තමයි කැබිනට් මණ්ඩලයට මම මෙම ඉල්ලිම කළේ. ඉතිහාසය දෙස බැලුවාම කොළඹ ජාතික රෝහලට එහෙම නෑ. හරියට ලිපිගොනුවක්. ලියවිල්ලක් නැහැ. දේශපාලන තීන්දුවක් විතරයි. බෝඩ් එකක් ගහලා ජාතික රෝහල කිව්වා. සියලුම දේවල් තිබෙනවා. නමුත් ජාතික රෝහලක් විය යුත්තේ කුමක් ද කියලා බැලුවේ නැහැ. ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන්ට අනූකූල වන අයුරින් තමයි අද මේ රෝහල දෙස අපි බැලුවේ. මීට පසු කිසිම කෙනෙකුට මේ ක්‍රමවේදයෙන් පිට ගිහින් ජාතික රෝහලක් ලෙස පත් කරන්නට බැහැ. එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ක්‍රමවේදයක්. භාණ්ඩාගාර අනුමැතිය, රාජ්‍ය පරිපාලන අනුමැතිය ඒකට සම්පූර්ණයෙන් හම්බ වුණා. මෙය තමයි යම් ක්‍රමවේදයකට ලංකාවේ බිහි කළ එකම ජාතික රෝහල. කොළඹ ජාතික රෝහලේ අක්ෂි රෝහල, මාතෘ රෝහල, ළමා රෝහල,  තිබෙන්නේ වෙනම. මෙහි එහෙම නැහැ. මේ සේරම හදලා තමයි මෙය ජාතික රෝහලක් බවට පත් කළේ. කැබිනට් මණ්ඩලයත් මවිත වුණා මෙච්චර විශාල ද මහනුවර රෝහල කියලා. මෙම රෝහලේ ඉතිරි සංවර්ධන වැඩසටහන් ඉවර වෙනකොට මෙහි ඇදන් සංඛ්‍යාව 3100 ක් වෙනවා. මෙම රෝහල තිබුන රෝහල වගේ හතර පස් ගුණයකින් වගේ විශාල වෙලා තිබෙනවා. විශේෂඥවරු 130 ක් ඉන්නවා. වෛද්‍යවරු 1000 ක්, හෙද සේවයේ 2225 ක්, රසායනාගාර සේවා 70 ක්, ඖෂධවේදීන් 70 ක්, භෞත චිකිත්සකයින් 35 ක්, විකිරණ ශිල්පීන් 45 ක්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 45 ක් වගේ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. තවත් එක් එක් රෝග සදහා වෙන් වූ සංකීර්ණ ගොඩනැගෙනවා. මේ ඔක්කොම සමග මේක ජාතික රෝහලක් බවට පත් වෙනවා.”

“මේ සමගම මේ රෝහල ජාතික රෝහලක් වශයෙන් පත්වීමත් සමග රෝහල් අධ්‍යක්ෂවරයාගේ තනතුර උසස් වෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට. එතුමාට ඊට වඩා උසස්වීම් ලැබිය යුතු පුද්ගලයෙක්. මෙවැනි පරිපාලකයින් 10 ක් ඉන්නවා නම් මම මේ රටේ සෞඛ්‍ය සේවය මේ වන කොටත් සිංගප්පූරුවේ හා මැලේසියාවේ පවතිනවා වැනි සෞඛ්‍ය සේවාවක් බවට පත් කරනවා. මට අවශ්‍ය වුන දේ මෙතුමා ලග තිබුණා. එකක් තීන්දු තීරණ ගැනීමට තිබෙන නිර්භීතකම, කොළ කෑලිවල තිබෙන නීති පද්ධති ගැන කථා කර කර හිටියේ නැහැ. මෙතන හිටපු එක අධ්‍යක්ෂවරයෙකුටවත් මේ රෝහල අවට අල්ලගෙන හිටපු එක ඉඩමක් ලබාගන්න පුළුවන් වුණා ද, කාටවත් බැරි වුණා. එක්කෙනෙක් පර්චස් එකක්වත් ගත්තේ නැහැ. අක්කර 57 ක් සුද්දා දුන්නා. අපේ අය රෝහල හැදුවා නොවෙයි එක එක්නෙකාට ඉඩම් ටික දුන්නා. දීලා එක අධ්‍යක්ෂවරයෙක් එයාගේ ගෙයත් හදාගත්තා. මල් සාප්පු වගේ හැම දේම මේකේ තියෙනවා. හැබැයි රෝහලේ කෑලි නෑ, පොලීසියට නිවාඩු නිකේතන ගහගෙන තියෙනවා. 57 න් අක්කර 25 ක් විතර අනවසර ඉදිකිරිම් කරලා තියලා මාව දැනුවත් කළා. එතුමාට තර්ජන ආවා. නමුත් එතුමා ක්‍රියාත්මක වෙලා ඒ ඉඩම්වලින් කොටසක් ගත්තා ඉතිරි ඉඩම් ටිකත් ලබාගැනීමට හැකි වෙනවා. අපි ගත්ත ඉඩම්වල තමයි නව ඉදිකිරීම් සේරම ආරම්භ කළේ. එතුමාට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.”

“අපි සමස්තයක් වශයෙන් මුළු දිවයිනේම රෝහල් වල මානව, භෞතික අංශ ශක්තිමත් කළා. රෝගී සේවාවන් කඩිනම් කළා. රෝගීන්ට විශාල සහන ප්‍රමාණයක් ලබාදුන්නා.”

මෙම උත්සව අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නායක මාහිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි මාහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, ඇතුලු අන්‍යාගමික පූජකතුමන්ලා, රාජ්‍ය ව්‍යවසාය මහනුවර උරුමයන් සහ නගර සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා, නගර සැළසුම් හා ජල සම්පාදන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා, මහනුවර නගරාධිපතිතුමා, පේරාදෙණිය සරසවියේ උපකුලපති වෛද්‍ය උපුල් දිසානායක මහතා,  ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් වෛද්‍ය හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here